චීනයේ ෂීංජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ, මධ්‍යම ටියැන්ෂාන් කඳු පන්තිය හරහා ඉදිකළ කිලෝමීටර් 22.13 ක් දිග ‘ටියැන්ෂාන් ෂෙන්ග්ලි’ උමං මාර්ගය පසුගිය 26 වැනිදා විවෘත කෙරුණි. මෙය එසේ මෙසේ උමං මාර්ගයක් නොව, චීනයේ ඉන්ජිනේරු විස්කම් ලොවට කියා පෑමකි. මෙම උමං මාර්ගය විවෘත කෙරුණේ ලෝක වාර්තා එකක් නොව, දෙකක් පිහිටුවමිණි.
ෂීංජියැං පළාත මැදින් කිලෝමීටර් 2,500ක් පුරා විහිදෙන ටියැන්ෂාන් කඳු පන්තිය හේතුවෙන්, උතුරු සහ දකුණු ප්‍රදේශ අතර ගමනාගමනය මීට පෙර ඉතා අපහසු කාර්යයක් විය. අනතුරුදායක විය. ‘ටියැන්ෂාන් ෂෙන්ග්ලි’ උමං මාර්ගය විවෘත කිරීමත් සමඟ, මීට පෙර, ටියැන්ෂාන් කඳු පන්තිය හරහා, පැය කිහිපයක් පුරා, අතිශය දුෂ්කර සහ අනතුරුදායක කඳුකර ගමන, දැන් මිනිත්තු 20 කට සීමා වී අවසන්ය. උමං මාර්ගය, වාර්තා අතරට එක් වූයේ ලොව දිගම අධිවේගී උමං මාර්ගය ලෙසත්, මහාමාර්ග උමං මාර්ගයක් සතු ගැඹුරුම සිරස් වාතාශ්‍රය පද්ධතිය සහිත උමග ලෙසත්ය. මෙය ජී0711 උරුම්කි - යුලි අධිවේගී මාර්ග පද්ධතියේ ප්‍රධානතම කොටස ද වෙයි. උමං මාර්ගය අයත් වන මෙම උරුම්කි - යුලි අධිවේගී මාර්ගය විවෘත වීමත් සමඟ, උරුම්කී නගරය සහ දකුණු දෙසින් පිහිටි කෝර්ලා නගරය අතර ගමන් කාලය පැය හතේ සිට පැය තුනක් දක්වා සියයට පනහකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇතැයි චීන රජයේ නිල පුවත් සේවය වන ෂිංහුවා පවසයි.
යුවාන් බිලියන 46.7ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.66ක) දැවැන්ත ආයෝජනයක් සහිතව මෙහි ඉදිකිරීම් කටයුතු 2020 අප්‍රේල් මාසයේදී ආරම්භ කරන ලදී. වසර පහක් පුරා ඉදිකිරීම් කටයුතු සිදුවිය. සමස්ත අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කිලෝමීටර් 324.7ක දිගකින් යුක්තය. මෙම නව මාර්ගය ෂීංජියැං කලාපයේ ආර්ථික සහ ප්‍රවාහන සබඳතා ශක්තිමත් කරන ප්‍රධාන මර්මස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පසුගිය 26 වැනිදා අධිවේගී මාර්ගය මෙන්ම උමං මාර්ගය ද විවෘත කෙරුණත්, පළමුවෙන් එහි ධාවනයට අවසර හිමිවී ඇත්තේ, මධ්‍යම සහ බර ප්‍රමාණයේ ට්‍රක් රථ සඳහා පමණි. සාමාන්‍ය වැසියන්ට; සාමාන්‍ය මෝටර් රථ සඳහා තවමත් අවසර ලබා දී නැත.
අධිවේගී මාර්ගයේ නිල පරීක්ෂණ මෙහෙයුම් කටයුතු 2026 ජනවාරි 1 වැනිදා සිට ආරම්භ වීමට නියමිත යැයි ෂින්හුවා පවසයි. ටියැන්ෂාන් කඳු පන්තිය, මධ්‍යම ආසියාවට අයත්, ලොව ප්‍රමුඛතම සහ ඉතාම සුන්දරම කඳු පන්තිවලින් එකකි. මෙම කඳු පංතිය, ටියැන්ෂාන් යනුවෙන් හඳුන්වන්නේ චීන වැසියන්ය. එහි අරුත ‘දෙව්ලොව කඳු වැටිය’ යන්නයි. මධ්‍යම ආසියාවට අයත් රටවල් කිහිපයක් හරහා ටියැන්ෂාන් කඳු පන්තිය පැතිර පවතී. එයින් වැඩි කොටසක් අයත් වන්නේ චිනයටය. චීනයේ, ෂීංජියැං පළාතටය.
ටියැන්ෂාන් කඳු පන්තිය අයත් සෙසු මධ්‍යම ආසියානු රටවල් වන්නේ, කසක්ස්තානය, කිර්ගිස්තානය සහ උස්බෙකිස්තානයයි. කඳු වැටිය, මෙම රටවල් දක්වා, කිලෝමීටර් 2,500ක් දුරට විහිදී යයි. ෂීංජියැං පළාත පිහිටා ඇත්තේ චීනයේ වයඹදිග කෙළවරේය. චීන පාලනය යටතේ පවතින ෂීංජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශය භූගෝලීය සහ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය අයත් වන්නේ ෂීංජියැං පළාතටය. ෂීංජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශය, චීනයේ පාලන ඒකක අතරින් විශාලතම ප්‍රදේශය වන අතර, මුළු චීන භූමියෙන් හයෙන් එකක් පමණය. ෂීංජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයට රටවල් අටක් මායිම් වෙයි.
මොන්ගෝලියාව, රුසියාව, කසක්ස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, ඇෆ්ගනිස්තානය පාකිස්ථානය සහ ඉන්දියාව එම රටවල්ය.
ලොව දෙවන විශාලතම වැලි කාන්තාරය වන තක්ලමකාන් කාන්තාරය පිහිටා ඇත්තේ ද මෙම කලාපයේ දකුණු දිග ප්‍රදේශයේය. චීනයේ තෙල් සහ ස්වභාවික වායු අවශ්‍යතාවෙන් විශාල ප්‍රමාණයක් සැපයෙන්නේ මෙම කලාපයෙනි. ලොව උසස්ම තත්ත්වයේ කපු නිෂ්පාදනය කරන ප්‍රදේශයක් ලෙස ද මෙය ප්‍රසිද්ධය. එසේම මිදි සහ කොමඩු වැනි පලතුරු සඳහා ද ෂීංජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශය ප්‍රචලිතය. උරුම්කි ෂීංජියැං අගනුවර වන මෙය මුහුදෙන් වඩාත්ම ඈතින් පිහිටි ලොව ප්‍රධානතම නගරය ලෙස සැලකෙයි.
පුරාණ සේද මාවතේ මධ්‍යස්ථානයක් වූ මෙම ප්‍රදේශය වර්තමානයේ චීනයේ එක් මාවතක් - එක් සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක්ද වෙයි. චීනය මෙම ප්‍රදේශයේ අලුතින් යටිතල පහසුකම් දියුණු කරමින් සිටියි. එහි එක් අදියරක් ලෙස මෙම දැවැන්ත උමං මාර්ගය හැඳින්විය හැක.
ලුසිත ජයමාන්න
ෂිංහුවා ඇසුරිනි

1 Comments
valuble post
ReplyDelete